අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකු පුටුවල අසුන්ගෙන ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය.
එහිදී, ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ ‘සරලකම’, ‘නිහතමානීත්වය’ පිළිබඳ අදහස් පළ වී තිබෙනු දැක ගත හැකි විය.
කෙසේ වෙතත්, දින කිහිපයක් තුළ අදාළ ඡායාරූප හරහා ආණ්ඩුවට යම් විරෝධයක් පළ වන පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට පටන් ගත්තේ ය.
එහිදී, ප්‍රශ්න කර තිබුණේ, වසර ගණනාවක් රැකියාවක නිරත නොවී පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වූ කේ.ඩී. ලාල්කාන්ත ‘කෙටි කාලයක් තුළ මහල් තුනක නිවසක් ඉහළ වටිනාකමක් සහිත ඉඩමක ඉදිකළේ කෙසේ ද? යන්න පිළිබඳව ය.
සිය නිවස ඉදිකිරීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් පැවතියදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහභාගි වූ ‘ප්‍රකම්පන’ නමැති යූටියුබ් නාලිකාවක සංවාදයකට එක්වෙමින් ඔහු මෙවැනි පැහැදිලි කිරීමක් කළේ ය.
“අනිවාර්යයෙන් පිළිවෙත් දෙකක් තිබෙනවා. ඒකෙ පක්ෂ සල්ලි කියල එකක් තියෙනවා. පක්ෂෙට ලැබෙන ජීවිත කාලෙ අද වෙනකම් ඒවත් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ…. ඊළඟට රජයේ මුදල් අවභාවිතාවට සම්බන්ධ වෙන්නෙ නෑ. ඔය දෙක වෙන්නෙ නෑ. ඒ අතරමැද වෙන කෑලි තියෙනව ඉතින්. ඉඩමක් විකුණනවා. මිල දී ගන්නවා. ගනුදෙනු කරනවා.”
මෙහිදී, ‘සමාජ ප්රාග්ධනය’ නමැති සංකල්පය පිළිබඳව ද අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට විවිධ මතවාද ඉදිරිපත් වෙමින් තිබේ.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.
“මේ වෙනකොට සමාජ ප්රාග්ධනය කියල එකක් උපයල තියෙනවා. අපිත් එක්ක විවිධ අය සම්බන්ධ වෙනව දේශපාලනය හරහා. හැබැයි ඒ අය ආශ්‍රය කරගෙන යනකොට දේශපාලනයට එහා වර්ධනය වෙනවා. ඒක තමයි මිනිස් ස්වභාවය. යාළුකම් ඇති වෙනවා. එහෙම වෙනවා. අද ඕන නම් මට පුළුවන් එක් කෙනෙක්ගෙන් ලක්ෂ 5 ගාණෙ 100 දෙනෙකුගෙන් සතියක් විතර ඇතුළත හොයන්න. හොයන්න පුළුවන්. කෝල් කරන්න විතරයි තියෙන්නෙ. නුවරයි, අනුරාධපුරෙයි, කොළඹයි දන්න දන්න අයට ලක්ෂ 5 ගාණෙ දෙන්න කිව්වොත්, මං පුළුවන් වෙලාවක දෙන්නම් හරි මොනව හරි කියල, ගැනීමේ බලාපොරොත්තුවක් නැතුව ම ඕන නම් පුළුවන්.”
“ඒ වගේ සමාජ ප්‍රාග්ධනයක් උපයගෙන තියෙනවා. ඒවා ගණන් හදන්න තේරෙන්නෙ නෑ සමහරුන්ට.”
සමාජ විද්‍යා විෂය ක්ෂේත්රයේ ‘සමාජ ප්රාග්ධනය’ යනුවෙන් සංකල්පයක් පවතී.
එම සංකල්පය ‘Encyclopedia Britannica’ අර්ථ දක්වා ඇත්තේ මෙසේ ය.
‘සමාජ ප්රාග්ධනය, සමාජ විද්‍යාවේ සංකල්පයක් වන අතර එය සමාජයීය ජාලවල සාමාජිකත්වය හරහා ප්රතිලාභ ලබා ගැනීමට සහ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට පුද්ගලයන්ට ඇති හැකියාව ඇතුළත් වේ. සමාජ ප්රාග්ධනය මානයන් තුනක් වටා භ්‍රමණය වේ: පුද්ගලයන් සහ කණ්ඩායම් අතර අන්තර් සම්බන්ධිත සම්බන්ධතා ජාල (සමාජ සබඳතා හෝ සමාජ සහභාගීත්වය), මෙම සබඳතා සංලක්ෂිත විශ්වාස මට්ටම් සහ සමාජ සබඳතා, සමාජ සහභාගීත්වය හේතුවෙන් ලබා ගන්නා සහ මාරු කරන සම්පත් හෝ ප්රතිලාභ එම මානයන් වේ.’
‘සමාජීය යහපැවැත්ම සඳහා සමාජ ප්රාග්ධනය ඉතා වැදගත් බව සමාජ විද්‍යාවේ පෙන්වා දී ඇත. අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ, සමාජ ප්රාග්ධනයේ මට්ටම් ප්‍රජාවන්හි රැකියා මට්ටම්, අධ්‍යයන කාර්ය සාධනය, පුද්ගල ශාරීරික සෞඛ්‍යය, ආර්ථික වර්ධනය සහ සංක්‍රමණික සහ ජනවාර්ගික ව්‍යවසාය සමග සම්බන්ධ වන බවයි’ යනුවෙන් ද Encyclopedia Britannicaහි පැහැදිලි කර තිබේ.
සමාජ ප්රාග්ධනය යන සංකල්පය සමාජමය වශයෙන් මානව යහ පැවැත්මට අතිශයින් උපකාරී වුව ද, එය ක්‍රියාත්මක කළ හැක්කේ, පොදු යහපත සඳහා පමණක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී පවසයි.
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ, ලාල්කාන්ත අමාත්‍යවරයා පවසන ආකාරයට හිතවතුන්ගෙන් මුදල් එකතු කර පෞද්ගලික කටයුත්තක් සඳහා යෙදවීම නීතිවිරෝධී කටයුත්තක් බව ය.
“සමාජ ප්රාග්ධනය පෞද්ගලික සුඛවිහරණයට යොදා ගන්න එක නීතිවිරෝධී යි. ඒවා පාවිච්චි කරන්න පුළුවන් පොදු යහපත සඳහා විතර යි. උදාහරණයක් විදිහට ගමක පොදු කටයුත්තක් වෙනුවෙන් දානපතියන්ගෙන් මුදල් එකතු කරන්න පුළුවන්. ඒත්, තමන්ගේ නිවස ඉදිකර ගන්න මුදල් එකතු කිරීම නීතිවිරෝධී යි.”
“ලාල්කාන්ත අමාත්‍යවරයා තමන්ට මුදල් ලැබුණු ආකාරය ගැන තව ම නිශ්චිත අදහසක් පළ කරල නෑ. ඒක නීත්‍යනුකූලව ඔප්පු කළ යුතු යි. එහෙම නොකළොත් ඔහුට කවදාහරි නීතිය ඉදිරියට යන්න වෙයි.”
“ඒ වගේ ම ඔහු ලක්ෂ ගණන් සල්ලි ඉල්ල ගන්න පුළුවන් කියන්නෙ ආණ්ඩු බලයේ ඉන්නකොට. එවැනි අවස්ථාවක මිනිස්සු සල්ලි දෙන්නේ යම් යම් අපේක්ෂා සහිතව වෙන්න පුළුවන්. එතකොට ඒක අල්ලසක් කියලා කෙනෙකුට අර්ථකථනය කරන්නත් පුළුවන්.”
සිය නිවස ඉදිකිරීම සඳහා මුදල් උපයා ගත් ආකාරය අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හෙළි කළ යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
ඔහු සිය යූටියුබ් නාලිකාවේ මෙම අදහස් පළ කර තිබිණි.
“ගෙවල් හදන්න ඕනෙ. හොඳට ජීවත් වෙන්න ඕනෙ. කොහෙන් ද මේවට සල්ලි? ඒව කියන්න ඕනෙ.”
“ප්‍රශ්නයක් තියෙනව, කොහෙන් ද මේගොල්ලන්ට මුදල් ආවෙ? ඒවා මහජන පරීක්ෂාවට ලක් කරන්න ඕනෙ.”
“ඉතින් ලාල්කාන්ත බැඳිල ඉන්නව එයාගෙ ඡන්ද දායකයින්ට කියන්න කොහෙන් ද එයාට සල්ලි ලැබුණෙ? කොච්චර ගියා ද මේ ගේ හදන්න? ඒකත් හරි වැදගත්. ඉඩම කොහෙන් ද හම්බ වුණේ? කප්පම් ගත්ත ද? ඒවා හරි වැදගත්.”
මේ අතර, තමන්ගේ වත්කම් එක් වසරක හදිසියේ ඉහළ ගිය බවත්, ඊට හේතු වූ කරුණු පිළිබඳවත් මාධ්‍යවේදීන් හමුවේ පසුගිය වසරේ (2025) සැප්තැම්බර් මාසයේ දිනක අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැහැදිලි කිරීමක් කළේ ය.
“මම වත්කම් බැරකම් ප්‍රකාශ පුරවන්න පටන් අරන් දැන් අවුරුදු 20ක් විතර වෙනව. අවුරුදු 20ක් විතර තිස්සෙ මං වත්කම් බැරකම් ප්‍රකාශය දෙනවා හැම අවුරුද්දෙ ම. ඒ මුල් කාලෙ වත්කම් බැරකම් ප්‍රකාශය අපි මුල් ම වතාවට දෙනකොට ඒව තිබ්බෙ හරි චුට්ට යි. ලියන්න දේවල් නැති තරම්. ඔය නෝනගෙ රත්තරං බඩු චුට්ටකුයි. ඒවත් ටිකක් තමයි තිබ්බෙ. එක පාරට ම අපේ වත්කම් බැරකම් එක අවුරුද්දකදි ඉහළ ගියා බර ගාණක්. ඒක වුණේ මගේ අම්මයි තාත්තයි මිය ගියාට පස්සෙ ඒ ඉඩම් සියලු ම දේ පවුලේ එක ම පිරිමි දරුවා විදිහට මට තමයි ලැබුණේ. ඒ ලැබිල ඊළඟ වත්කම් බැරකම් ප්‍රකාශය පුරවනකොට මං ඒක ඇතුළු කරල දාල තියෙනව. ඉතින් ඒ වගේ පඩි ලබන්න ම ඕන නෑ වත්කම් බැරකම් පිළිබඳ කාරණයට.”
ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ, සියලු මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ජනතාවට බලාගත හැකි බව ය.
“දැන් වත්කම් බැරකම් ප්‍රකාශ දීල තියෙනවා. අපේ හැම මැති ඇමතිවරයෙකුගේ ම වත්කම් බැරකම් බලාගන්න පුළුවන්. ඒ වත්කම් බැරකම් අල්ලස් හෝ දූෂණ කොමිෂන් එක විසින් එළියට දාල තියෙනවා. අද බලාගන්න පුළුවන්කමක් තියෙනවා.”
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත එලෙස කීව ද, 2025 වසරට අදාළ ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පළ කර නොමැත.
ඒ පිළිබඳව අප කළ විමසුමකදී එහි නීති අංශයේ නිලධාරිනියක පැවසුවේ, අමාත්‍යවරයා ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශය භාර දී තිබූ බව ය.
කෙසේ වෙතත්, එම ප්‍රකාශය වෙබ් අඩවියේ පළ කර නොමැති අතර, ඒ පිළිබඳව නිසි ප්‍රතිචාරයක් මෙම ලිපිය පළ කරන අවස්ථාව වන තෙක් අප වෙත ලැබී තිබුණේ නැත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරී වෙත තොරතුරු ඉල්ලීමක් යොමු කොට තිබේ.
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ නොකර තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ අතර, අනීතික ලෙස උපයාගත් දේපළ පිළිබඳ සැකයක් ඇත් නම් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් මීට දින කිහිපයකට පෙර පොලිසිය විසින් හඳුන්වා දෙන ලදී.
ඒ අනුව, අමාත්‍ය ලාල් කාන්ත අදාළ නිවස ඉදිකිරීම සඳහා මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අභීත එදිරිසිංහ නමැත්තෙකු 1818 ක්ෂණික දුරකතන සබඳතාව ඔස්සේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
– BBC










Leave a Reply