ගණේමුල්ලේ සංජීව නමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රඳවාගෙන ප්‍රශ්න කරන ප්‍රධාන සැකකාරියකගේ උපන් දිනය වෙනුවෙන් ලැබුණු කේක් ගෙඩියක වස හෝ මත්ද්‍රව්‍ය අඩංගු දැයි සෙවීම සඳහා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා වෙත කරුණු වාර්තා කර ඇත.
මෙලෙස සැකයට භාජනය වී ඇත්තේ අදාළ ඝාතන සිද්ධියේ 15 වැනි සැකකාරිය ලෙස නම් කර සිටින පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ලැබුණු කේක් ගෙඩියකි. ඇයගේ උපන් දිනය පසුගිය 29 වැනිදාට යෙදී තිබුණු අතර, ඒ නිමිත්තෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මෙම කේක් ගෙඩිය එවා තිබුණි. එය භාරගැනීම සහ විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගැනීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ද අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
එම කේක් ගෙඩිය තුළ කිසියම් විෂ රසායනික ද්‍රව්‍යයක් හෝ මත්ද්‍රව්‍යයක් අඩංගු වී ඇත්දැයි දැඩි ලෙස සැක මතු වී ඇති බැවින්, ඒ පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ අනුව, අදාළ කේක් ගෙඩිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඒ පිළිබඳව විධිමත් වාර්තාවක් කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට අවසර ලබා දෙන ලදී.